Friday, 25 February 2022

වැළදගැනීම්

මිනිස්සු නම් සමාජ ජීවියෙකි. තනිව වාසය කරනවාට වඩා එකිනෙකා සමඟ සබඳතා වර්ධනය කරගනිමින් එකිනෙකා සමඟ බැදෙමින් ජීවිතේ ගෙනියෑම මිනිස් ස්වාභාවයයි. නමිත් කොවිඩ් වසංගතය ලෝකය ගොදුරු කරගැනීමෙන් පසුව මිනිසුන්ට එසේ සමීපව සබඳතා ගෙනයෑමට නොහැකිව ඇත. මිනිස් සබඳතා සැබැවින්ම පුදුමාකාරය. අනිකුත් සතුන් මෙන් නොව මිනිසුන් ලිංගික කර්තව්‍යට අමතරව සිප වැළදගැනීම් සිදු කරමින් ශරීර ස්පර්ශ කරමින් තමාගේ හිතවත් කම් සුහදකම් බෙදා හරී. පෙර සඳහන් කළාක් මෙන් කෝවිඩ් වසංගතය හමුවේ පුද්ගල සබඳතා ශරීර දුරස්ථබාවය පවත්වා ගනිමින් ගෙන යාමට සිදුව ඇත. 

Aljoscha Dreisoerner නම් පර්‍යේෂක සහ ඔහුගේ පිරිස (Goethe University) වැළදගැනීම් සහ ක්ලමථය (Stress) අතර සබඳතාවය පිළිබඳව 2021 වර්ෂයේදි පර්‍යේෂණයක් සිදු කොට ඇත. මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 159දෙනෙකු යොදා ගෙන ඇත. Trier Social Stress Test (TSST) මේ සඳහා යොදා ගෙන ඇත. මෙහිදි පර්‍යේෂණයට භාජනය වන්නන්ට රැකියා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන ආකාරය ව්‍යාජ රංගනයක් රඟ දක්වන්න යැයි පවසා ඒ තුළින් ආතතිය නිර්මාණය කොට ඇත. මේ අතර ඔවුන්ගේ ඛේට තුළින් කෝටිසෝල් (cortisol) අඟය මැන බලා ඇත (ආතතිය ඇති විට කෝටිසෝල් අගය ඉහළ යයි). 

මෙම ස්වේච්ඡා සහභාගි වන්නන් කාණ්ඩ තුනකට බෙදා වෙන් කරන ලදි. 


1. සහයක පර්‍යේෂකයින් තප්පර 20ක් වැළදගෙන ඇත.

2. තමා විසින්ම තමාම තප්පර 20ක් වැළදගෙන ඇත.

3. කිසිදු වැළදගැනීමක් නැත. 

මේ අතර අවසාන වශයෙන් ඔවුන්ට කඩදාසි වලින් රොකට් එකක් සැදීමට කුඩා ක්‍රියාකාරකමක් ලබා දී ඇත. 

මෙම පර්‍යේෂණයේ ප්‍රථිපල වලට අනූව කුමන ආකාරයේ වැළදගැනීමක් සිදුකළ අයගේ කෝටිසෝල් අගය කිසිදු වැළදගැනීමක් සිදු නොකළ අයගේ කෝටිසෝල් අගයට වඩා අඩු අගයක් ගෙන ඇත. 

මේ අනූව පුද්ගලයකු වැළදගැනීමක් කළ විට ආතතිය යම් තාක් දුරකට අවම කර ගත හැකි යැයි අනුමාන කළ හැකිය. නමුත් මේ වසංගත සමය තුළ එකිනෙකාව වැළදගැනීම උචිත නොවේ. එසේ උවද තමාට තමාවම සුලු වේලාවක් වැළදගත හැකිය. සියලුම පුද්ගලයින්ගේ ආදරය කරුණාවට වඩා තමාට තමා කෙරෙහි ආදරය කරුණාව සෙනෙහස උණුසුම ලබා දිය හැකිනම් ඔබට ඔබගේ බොහෝ ආතතීන් සමනය කර ගැනීමටත් ඕනෑම ගැටලුවක් සෙමෙන් පහසුවෙන් නිරාකරණය කර ගැනීමටද හැකි වනු ඇති. 



🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

MPhil in Psychology (Reading)

BA (Hons) in Psychology 

N.Dip in Counselling 


Saturday, 19 February 2022

සිතූ පැතූ සම්පත් ලබාගන්න

මිනිස්සු ආසම සිතූ පැතූ දේවල් සිතන පතන වෙලාවටම ලැබෙනවට.එහෙම උනාම මිනිස්සු හරිම තෘප්තිමත් ඒත් හිතන පතන දේවල් ඒ වෙලාවටම නොලැබුනාම මිනිස්සු ඒ ගැන සැක හිතන්න ගන්නවා මිනිස්සු දුක් වෙනවා පසුතැවෙනවා. එහෙම උනාම ඒ දේවල් ලැබෙනවා වෙනුවට තවත් ඈත් වෙනවා. 

දිනක් එක්තරා පුද්ගලයෙක් ඔහේ ඇදී තිබුණ පාරක හුඟක් දුර ඇවිදන් ගියා. ඔහු අවසානයේ නතර උනේ පාරාදීසයක.මොහු ලොකු හෙවණක් දෙන විශාල වෘක්ෂයක් ලඟ වැතිරුනා.ඔහු බොහෝ සුවබර නින්දකින් පසුව අවදි උනා. ලොකු සාගින්නක් දැනුන නිසා කෑමක් ලැබුනනම් කියල ඔහුට හිතුනා.පුදුමකට වගේ ඔහු ඉදිරියේ ලෝකයේ ප්‍රණීතම ආහාර මැවුනා.ඔහු සතුටින් ආහාර ගත්තා. 

තවත් මොහොතකින් ඔහුට පිපාසාවක් දැනුනා.ඔහු ඒ ගැන හිතද්දිම ලෝකයේ ප්‍රණීතම බීම ඔහු ඉදිරියේ.ඔහු ඒවත් රසවින්දා. 

දැන් ඔහු පරිපූර්ණයි. ඔහුට වෙන සිතන්න යමක් නෑ.ඒ නිසා ඔහු ඔහුගේ සිතට කරදර කරන්න පටන් ගත්තා.ඔහු හිතුවා සිතන පතන හැමදේම මෙහෙම ලැබෙන්නේ කොහොමද මෙහෙ හොල්මන් ඉන්නවද දන්නේ නෑ යැයි සිතුවා. තවද ඒ හොල්මන් තමාට කරදර කරාවියැයිද සිතුවා.ඔහු සිතූ ලෙසම හොල්මන් ඔහුව වටකරගත්තා.ඔහුට හිරිහැර කරන්න පටන් ගත්තා. ඒ අතරේ ඔහු සිතුවා මා මරණයට පත් කරයිද ?

සිතුවා සේම ඔහු මරණයට පත් උනා. 

මේ මනඃකල්පිත කතන්දරයකි.නමුත් ඔබම සිතා බලන්න ඔබටත් සිදුවන්නේ මෙසේ නොවේද? සිත යනු ප්‍රබලම දෙයකි. ඔබ ඔබට අවශ්‍ය දේ ලබා ගන්න නම් අද සිට සිත හැසිරවිය යුතුමය. පළවෙනිම දෙයනම් සංසුන් සිතයි. සිත යනු සෑම විටම එකතැනක රදවා තබා ගැනීමට අපහසුම දෙයකි. නමුත් අප සෑම විටම උත්සාහ ගත යුත්තේ සිත එක තැනක තබා ගැනීමටයි.එයට තමාට සුදුසු උපක්‍රමයක් භාවිතා කරන්න. 

දෙවනුව සෑම විටම ධනාත්මක සිතුවිලි උපදවා ගත යුතුය. ඔබ යමක් අපේක්ෂා කරන්නේනම් ඒ දේ තමාට ලැබෙන තුරු එය තමාට හිමිවන බව තරයේ විශ්වාස කළ යුතුය.මෙතනදී ඒ පිළිබඳව ඕනාවට වඩා සිතා පසුව සිත බිද ගන්නා මට්ටමට නොව ඒ දේ පිළිබඳව ධනාත්මක චින්තනයක් පමණක් තබාගන්න. 

උදාහරණයක් ලෙස ඔබට චොකලට් එකක් අවශ්‍ය නම් මට චොකලට් ලැබේවියැයි සිතන්න.ඒ පිළිබඳව උවමනාවට වඩා වද නොවී සිටින්න. 

දැන් ඔබ ඔබේ ඉලක්කයන් වෙනුවෙන් වැඩ කරන්න. ඔබේ සිත හසුරුවනවා මෙන්ම ඔබත් වෙහෙසී කටයුතු කිරීමෙන් ඔබට ඔබ බලාපොරොත්තුවන ඕනෑම දෙයක් කිසිදු සිත් තැවුලකින් තොරව ලබා ගත හැකි වේවි. 


🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

MPhil in Psychology (Reading)

BA (Hons) in Psychology 

N.Dip in Counselling