Thursday, 16 June 2022

ප්‍රශ්නයට පිළිතුරක්

 ප්‍රශ්න ගැටලු නම් මේ ලෝකයේ වෙසෙන සියලුම දෙනාට පොදු වේ. මේ ලෝකයේ ගැටලුවක් ප්‍රශ්නයක් නොමැති කිසිම පුද්ගලයකු සොයා ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයනවාටත් වඩා අපහසුය.සෑම දිනකම සෑම පුද්ගලයකුටම ප්‍රශ්නයක් ඇත. එකම වෙනස වන්නේ ඒ ප්‍රශ්නය ජීවිතේට තදින්ම බලපාන එකක් වීම හෝ නොවීමම පමණයි. මේ විශ්වය ආරම්බ වූ දා පටන්ම ජීවීන් බිහි වූ දා පටන්ම ප්‍රශ්න නිර්මාණය වන්නට ඇති. මිනිසකු වූ නිසාම නොව සතුන්ට පවා එදිනෙදා ජීවිතේ තුළදි ප්‍රශ්න ඇති. 

' අද රෑ කෑමට හදන්නේ මොනවාද ? කන්නේ මොනවාද ? ' වැනි සුලු ගැටලුවේ සිට 

' මේ දේ මගේ අනාගතයට කොහොම බලපාවිද?' එතැනින් එහාට ඉතාම සංකීර්ණ ප්‍රශ්න ජීවිත කාලය තුළදී මුහුණ දීමට සිදු වීම ඉතාම සරල කාරණාවකි. 

වර්ථමාන ලංකාව තුළ ජීවත් වීමම ගැටලුවක් බව පසක් වේ. එවැනි යුගයක මේ එකි මෙකි නොකී සියලුම ප්‍රශ්න වලට විසදුමක් සොයා ගත හැකි නම් එය වැදගත් වනු නොඅනුමානය. මේ ඔබේ ගැටලු සියල්ලටම සරලම විසදුමයි. 

එක්තරා වනයක ඉහළම කන්දක් මුදුනක ඉතාමත් ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේ නමක් වාසය කළේය. එම භික්ෂූන් වහන්සේ  හමුවීමට නොයෙක් ප්‍රදේශ වලින් නොයෙක් මිනිසුන් පැමිණ ඇත. මෙසේ දිනක් සංචාරකයන් පිරිසක් කන්ද තරණය කරන විට ඒ භික්ෂූන් වහන්සේ පිළිබඳව දැන ගන්නට ලැබී ඇත. ඒ සමඟම ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්නද රැගෙන එම භික්ෂූන් වහන්සේ හමුවීමට යෑමට තීරණය කළේ ය. 

මොවුන් ක්‍රම ක්‍රමයෙන් එතැනට ලඟා විය. දැන් ඔවුන් අතර කතා බහ ඇති වූයේ කවුරුන් මුලින් ගැටලුව ඉදිරිපත් කරනවාද යන්නයි. සෑම දෙනාටම තමන්ගේ ගැටලුව ලොකු ගැටලුවක් ලෙස පෙනෙන්නට විය. කෙමෙන් කතා බහ සද්දය වැඩි වී කෝලහාලයක් බවට පත් විය. 

මේ දෙස සාවදානව බලා සිටි භික්ෂූන් වහන්සේ කෝලහාලය ආරම්භ වීම සමඟ "නිශ්ශබ්ද වන්න !" යැයි අණ කලේය. සියල්ලෝම නිහඬ විය. 

සියලු දෙනාටම රවුමක් සැදී බිම වාඩි වන්නට කියා භික්ෂූන් වහන්සේ නික්ම ගියේය. ඉන්පසු පෑන් සහ  කොල සමඟ කුඩා බදුනක් රැගෙන පැමිනි උන්වහන්සේ පෑනක් සහ කොලයක් සෑම දෙනාටම දුන්නේය. 

- මෙහි ඔබගේ ගැටලුව ලියා මේ බදුනට දමන්න. 

උන්වහන්සේ කිවූ පරිදි සියල්ලෝම එසේ කළේය. ඉන්පසුව ඒ භාජනය ගෙන හොදින් කලවම් කොට රවුමේ එක් අයෙකුට දුන්නේය. 

- උඩින්ම තියෙන කොලේ අරන් භාජනය එකිනෙකා අතර යවන්න. 

දැන් සෑම දෙනා අතේම වෙනත් අයෙකුගේ ප්‍රශ්නයක් ඇත. එය කියවන්නට භික්ෂූන් වහන්සේ පැවසුවේය. සෑම දෙනාටම සිතුන දෙයනම් තමාගේ ගැටලුවට වඩා සංකීර්ණ ගැටලු ඇති බවයි. 

ඔබේ ගැටලුව ඔබට විශාල ලෙස පෙනෙන්නේ අන් ගැටලු ඔබට නොපෙනෙන නිසා විය හැකිය. ඔබේ ගැටලුව සාපේක්ෂ වන්නට කිසිත් නොමැති නිසා විය හැක. ගැටලුව තමන්ගෙ නොවන තාක් පිළිතුරු දාර්ශනික බව සැබෑවකි.එහෙත් එසේ කීවද ප්‍රශ්න තුළ කිමිදී ගිලී මියෙනවාට වඩා ප්‍රශ්නයක් නම් මුහුණ දීමත් එය විසදා ගැනීමට උත්සහ කිරීම වටි. තවත් සංකීර්ණ ගැටලු ප්‍රශ්න මේ ලොව ඇති බවත් මේ ප්‍රශ්නය විසදා ගැනීමට අමාරු එකක් ලෙස නොදැකීමත් ප්‍රශ්නය ගැනම සිත සිතා තවත් ප්‍රශ්න නිර්මාණය නොකරගෙන විසදුම් සෙවීම තුළින් ඕනෑම ගැටලුවක් ප්‍රශ්නයක් පහසු ලෙස විසදා ගත හැකි වේ. 

ප්‍රශ්නය ප්‍රශ්නයක් වන්නේ පිළිතුරක් කොහේ හෝ තිබෙන නිසා බව සිහි තබා ගන්න. 



🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

Lecturer 

MPhil in Psychology (Reading)

BA (Hons) in Psychology 

N.Dip in Counselling 

No comments:

Post a Comment