ඕනෑම උපකරණයක් භාවිතා කිරීමෙන් පසුව පිළිවෙලකට ක්‍රියාවිරහිත කිරීම වැදගත් වේ. ඉන් පසු දින කිසිදු ආබාධයකින් තොරව නැවත භාවිතා කිරීමට හැකි වේ. මනුෂ්‍යයින්ද එසේමය. දවස පුරාම එක එක වැඩ කොට මහන්සි වී දවස නිසි ලෙස අවසන් නොකළහොත් පසු දින වැඩ ආරම්භ කොට පසු දින උද්යෝගිමත්ව හා ඵලදායිව වැඩක් කිරීමට හැකියාවක් ලැබේද? කොහෙත්ම නැත. දවසේ වැඩ අවසන් කොට නිදහසේ හොඳ විවේකයක් ගෙන නින්දට යන්න. මෙයින් ඔබගේ වැය වූ ශක්තිය නැවත ඔබට ලැබේ. එසේනම් එයට නිසි ලෙස දවස නිමා කිරීම අවැසි වේ.
1) ඔබ රාජකාරියක නිරත වන අයෙක් නම් ඔබ ඔබගේ නවාතැනට ආ සැනින් රාජකාරි වැඩ පසෙකින් තබන්න. ඔබගේ මනසෙහි ගොනු කරගෙන ඇති රාජකාරි මදකට අමතක කොට මනස නිදහස් කරන්න. පෞද්ගලික නිදහස විදින්න. මේ තුළින් ඔබට පසු දින වැඩවලට මෙන්ම නීරෝගිමත් මනසකටද හේතු වේ.
2) දැන් ස්නානය / ඇග සෝදා ගන්න. මෙතනදී ප්‍රශ්න , අද දවසේ සිදු වූ අයහපත් දේ අමතක කොට නිදහසේ ජලයේ සීතල පහස නිදහස්ව විදගන්න. නාන කාමරය ප්‍රශ්න කල්පනා කරනා තැනක් කර නොගෙන නිදහසේ සතිමත් බවකින් යුක්තව එතැන වැඩ ටික කරගෙන නිදහස් වන්න. හොදින් ජල ස්නානය දවසේම විඩාවන් නිවා ඇගට ප්රබෝධයක් ලබා දේ.
3) ඉන් පසු අවශ්‍ය නම් හොද කෝපි කෝප්පයක්/ තේ එකක් නැතිනම් ඔබ කැමති ඕනම ආහාර පානයක් ගෙන (අවශ්‍යනම්) නිදහසේ භුක්ති විදින්න. තවමත් දවස ආවර්ජනයට වෙලාව නොවේ. මනස නිරවුල්ව ආහාරයට අවධානය යොමු කොට එය රස විදින්න.
4) ඊටත් පසු ඔබට හැකි නිදහසේ පරිසරය විදින්න, සිංදුවක්, නාට්‍යයක්, චිත්‍රපටයක් නැත්තම් ඔබ කැමතිම විනෝදාත්මක යමක් සිදු කරන්න. මේ වන විට ඔබගේ මනස බොහෝ නිදහස්ව තිබේ. ඔබ සැහැල්ලු වී තිබේ.
5) ඔබ දැන් නින්දට යාමට පෙර දවස ආවර්ජනය කරන්න. ඒ සඳහා දින පොතක්/ ජර්නල් එකක් (journal), නැත්තම් පොතක් ගෙන අද දවසේ විශේෂ සිදුවීම් සහ ඔබට අද දවසේ ලැබුනු හොද යහපත් ධනාත්මක දේවල්, ඔබ කළ හොද යහපත් ධනාත්මක දේවල් සටහන් කරන්න. ඔබ අතින් අතපසුවීමක් , වරදක් සිදු වුනිනම් ඔබ ඔබගෙන් සමාව ගෙන ඒ වරද අතපසුවීම නිවැරදි කරගන්න.
ඔබගෙන්ම සමාව ගන්න යයි පවසන්නේ යම් හේතුවක් නිසාවෙනි. මක්නිසාද යත් ඔබට වැඩියෙන්ම වද දෙන්නේ ඔබගේ සිතයි. සිතින් ඔබ නිදහස් නම් ඔබට අනෙක් අයගේ කතා එතරම් වැදගත් නොවෙනු ඇත.
6) දැන් හෙට දින ඔබට කිරීමට ඇති වැඩ පෙළගස්වන්න. එය ඔබට පෙනෙන තැනක තබන්න.
7) දැන් ඔබ නිදහස් වී ඇති. දැන් පොඩි වේලාවක් සිත එක් තැන් කළ හැකි ක්‍රියාකාරකමක නිරත වන්න. ( ඔබගේ ආගමානුකූල ක්‍රියාවක් හෝ පොඩි භාවනාවක්). මෙයින් ඔබව ප්‍රබෝධමත් කරනු ඇති.
8) දැන් සතුටින් නින්දට යන්න.
මේ වැනි දෑ කිරීම තුළින් ඔබට නිදහස් මනසක් ඇතිව නිදහස් පුද්ගලයකු ලෙස දවස අවසන් කිරීමට හැකියාව ලැබේ. මේ මඟින් පසු දින ඔබට නිදහස් මනසක් ධනාත්මක මනසක් ඇතිව දවස ආරම්භ කිරීමටත් වඩා ඵලදායි දවසක් ගත කිරීමට හැකියාව ලැබේ.
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
MPhil in Psychology (Reading)
BA (Hons) in Psychology
N.Dip in Counselling
Visiting Lecturer
No comments:
Post a Comment